Wednesday, August 21, 2013

සැනකෙළියේ පුංචි පවුල

සැණකෙළියක් බලන්න පුංචි පවුලක් ඇවිත් හිටියා. එතන හිටියෙ අම්මයි තාත්තයි දුවයි පුතයි. බැලූ බැල්මට බොහොම අමාරුවෛන් එදා වේල හොයාගෙන ජීවිතය ගැට ගහ ගන්න උත්සාහ කරන පවුලක්. කාලෙකට පස්සෙ තමන්වයි දරු දෙන්නවයි එක්කරගෙන ස්වාමියා ආපු මේ ගමන ගැන බිරිඳ තුළ තිබුණේ ලොකු සතුටක් වගේම කියාගන්න බැරි ආදරයක්. පුංචි දරු දෙන්නටත් මේ ආපු ගමන ගැන අදහගන්න බැරිවෙලා. තමන්ගෙ තාත්තා දිහා බැලූවෙ වීරයෙක් දිහා බලනව වගේ.

ඔන්න ඉතිං මේ පුංචි පවුලත් ආසාවෙන් මාරක ළිඳේ වික්‍රමය බලන්න කියලා ඒ පෝලිමට එක්වුණා. පුංචි හිත්වලට නම් එක එක ප්‍රශ්න.මොකක්ද මාරක ළිඳ කියන්නෙ? ඒකෙ මොනවද වෙන්නෙ? කවුද ඒකේ ඉන්නෙ? දාහක් ප්‍රශ්නග. ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න තාත්තට සිද්ධ වුණා. පෝලිම ටික ටික ඉස්සරහට ගියා. දැන් ටිකටි ගන්න වාරෙ. හතර දෙනාගෙම ටිකටිවල ගාන එකතු කරලා කවුන්ටරේ හිටපු ඉලන්දාරියා ගාන කිව්වා.

රුපියල් තුන්සීයයි

රුපියල් තුන්සීයක්?” තාත්තගෙ ඇස් උඩ ගියාග මුහුණ අඳුරු වුණා. එච්චර ගානක් වෙයි කියලා ඔහු නිකමටවත් හිතන්නෙ නැතුව ඇති. ටිකටි ගන්න කියලා කළිසම් සාක්කුවෙන් එළියට ගත්ත රුපියල් සීය අතටම ගුලිකරගෙන ඔහු අසරණ කමින් බිරිඳ දිහා බැලූවා.

ඔය අතරෙ මේ පෝලිමේ මේ පවුලට පිටිපස්සෙන් හිටපු පුද්ගලයා වෙච්ච හැමදෙයක්ම හොඳට බලාගෙන හිටියා. එයා කවුද කියන්න මංවත් දන්නෙ නෑ. අපි එයාට 'හිතවතෙක්' කියමුකො. වෙච්ච හැම දේ ගැනම ඔහුට හොඳට තේරුණා. හොඳට ඇහුණා. ඒ වෙලාවෙ අපේ හිතවතාට හොඳ අදහසක් පහළ වුණා. ඔහු ටිකටි ගන්න ගමන් ළඟ තිබ්බ සල්ලි ටික ගුලි කරලා බිමට දැමිමා.

මහත්තයා මේ ඔයාගෙ සල්ලි වගයක් බිම වැටිලා

අපේ හිතවතා බිමට දැම්ම සල්ලි ටිකල අර අසරණවෙච්ච තාත්තට පෙන්නලා සල්ලි ටික ඇහිඳලා ඒ තාත්තගෙ අතට දුන්නා. ටිකට් ගන්න සල්ලි මදිවෙලා අසරණ කමින් බලාගෙන හිටපු තාත්තා මේ වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවයි හිටියෙ.

කොහොමහරි ටිකට් හතර අරගෙන කට්ටියම ඇතුල්වුණා. මොහොතකට අර තාත්ත හැරිලා පෝලිමේ පිටිපස්ස බැලූවා. අපේ හිතවතා පෝලිමේ හිටියෙ නෑ. ඔහුට කාරණේ වැටහෙන්න ගත්තෙ දැනුයි. හතර වටේ දුවපු ඔහුගේ ඇස් සැණකෙලියේ හිටපු පිරිස් අතරින් ඈතට යන අපේ හිතවතාව දැක්කා.

ස්තුතියි... බොහොම ස්තුතියිඔහු හිතින් මිමිනුවා..

නිමි......

අම්මා කියු බොරුව


මේ කතාව පටන් ගන්නේ මම ඉතා කුඩා කාලෙදි. මම බොහොම දුප්පත් පවුලක ඉපදුනේ. ගොඩාක් වෙලාවට අපිට හරි කෑම වේලක් කන්න පුළුවන් කමක් තිබුනෙ නැහැ. අපට මොනවා හරි කෑමක් ලැබුනහම අම්මා හැම වෙලේම අම්මාගේ පංගුව මට දුන්නා. අම්මා කෑම ටික මගේ පිඟානට දාන ගමන් කිව්වේ "ඔයා කන්න පුතා. මට බඩගිනි නැහැ" කියලයි.
අම්මා මට කිව්ව පළවෙනි බොරුව ඒකයි. 
මම ටිකක් ලොකු වෙද්දි අම්මා අම්මගෙ විවේක කාලය කැප කරලා අපේ නිවස ලඟ තිබුනු ඇළේ මාලු අල්ලන්න පටන් ගත්තා. අම්මට ඕන වුනේ එහෙම හරි මගේ පෝෂණය වැඩි වෙන්න මාලු ටිකක් හොයාගන්නයි. දවසක් අම්මට මාලු දෙන්නෙක් අහුවෙලා සුප් එකක් හැදුවා. මම සුප් බොන අතරෙ මම කාලා මාලු කටුවල ඉතුරු වුන පුචි මාලු කෑලි අම්මා කනවා මම දැක්කා. මගෙ හිතට ලොකු දුකක් දැනුනා. මම මගෙ ඉතුරු මාලු ටික අම්මට දෙනකොට අම්මා මට කිව්වෙ "ඔයා කන්න පුතා. මම මාලු කන්න එච්චර ආස නැහැ" කියලයි.
අම්මා මට කිව්ව දෙවෙනි බොරුව ඒකයි. 
මට ඉගෙන ගන්න මුදල් මදි වෙද්දි අම්ම නිවස ලඟ තිබුනු ගිනිපෙට්ටි කම්හලට ගිහින් පාවිච්චි කර ඉවත දාපු හිස් ගිනි පෙට්ටි ටිකක් ගෙනාවා. අම්මා ඒවට අලුත් ගිනිකූරු දාල පිරෙව්වා. ඉන් අපිට සුළු ආදායමක් ලැබුනා. එක සීතල රාත්‍රියක මම නින්දෙන් නැගිටල එද්දි අම්ම ඉටිපන්දම් එලියෙන්සීතලේ ගැහි ගැහි ගිනි පෙට්ටි පුරවනවා දැක්කා. "අම්මා දැන් නිදා ගන්න. ඕක හෙට කරන්න පුලුවන්." අම්මා එතකොට මගේ දිහා බලලා හිනා වෙලා කිව්වෙ "පුතා ගිහින් නිදා ගන්න. මට නිදිමත නැහැ" කියලයි.
අම්මා මට කිව්ව තුන්වෙනි බොරුව ඒකයි. 
මගේ අවසාන විභාගයට යද්දි අම්මත් මාත් එක්ක ආවා. මම විභාගෙ ඉවර වෙනකල් අම්මා එලියෙ ගිනි අව්වෙ බලාගෙන හිටියා. සීනුව ගහපු ගමන් මම අම්මා ගාවට දුවගෙන ගියා. අම්මා මාව ආදරයෙන් වැළදගෙන උණු වතුර බෝතලයෙන් තේ ටිකක් දාල දුන්නා. අම්මා අව්වෙ දහදිය දමමින් හිටිය නිසා මම තේ කෝප්පය අම්මට දීලඒකෙන් අම්මාටත් බොන්න කිව්වහම අම්මා මට කිව්වෙ "ඔයා බොන්න පුතා. මට තිබහ නැහැ" කියලයි.
අම්මා මට කිව්ව හතරවෙනි බොරුව ඒකයි. 
තාත්තා මැරුණට පස්සෙ ඔක්කොම බර අම්මගෙ කරට වැටුනා. ඒක දුෂ්කර කාලයක්. අපි බඩගින්නෙ දුක් වින්දා. අපිට තියෙන කරදර දැකපු ගොඩාක් අය අම්මට කිව්වෙ නැවත වරක් කසාද බඳින්න කියලා. ඒත් මට වෙනස්කමක් වේවි කියල හිතල එතකොට අම්මා කිව්වෙ "මට වෙන පිරිමියෙකුගේ ආදරය ඕන නැහැ" කියලයි.
අම්මා මට කිව්ව පස්වෙනි බොරුව ඒකයි. 
මගේ අධ්‍යාපනය නිමා කලාට පස්සෙ මට පොඩි රැකියාවක් ලැබුනා. අම්ම වින්ද දුක් වලින් අම්මා මුදවන්න කාලය ආවා. ඒත් අම්මා පුරුදු විදිහටම හැමදාම පොළට ගිහින් එළවළු ටිකක් විකුණුවා. මගේ සුළු පඩියෙන් මම අම්මට සල්ලි යවන්න ගත්තහම අම්මා ඒවා ආපසු මට හරවලා එව්ලා කිව්වෙ "මට සල්ලි එවන්න එපා පුතා. මට සල්ලි ඇති පමණට තියෙනවා" කියලයි.
අම්මා මට කිව්ව හයවෙනි බොරුව ඒකයි. 
මම මගේ මාස්ටර්ස් උපාධියට ඉගෙන ගන්න පටන් ගත්තා. ඊට වියදම් කලේ මම රැකියාව කරපු ආයතනය. මම ඇමරිකාවට ගියා. මට දැන් විශාල පඩියක් ලැබෙනවා. මම අම්මාව ඇමරිකාවට ගෙන්න ගන්න හිතුවා. නමුත් මගේ ඉගෙනීමෙ කටයුතු අතරෙ අම්ම ඉන්න එක මට බාධාවක් වෙයි කියල හිතලා අම්ම කිව්වෙ "මට ඔය වෙන රට රාජ්ජවල ඉන්න දන්නෙ නැහැ පුතා" කියලයි.
අම්මා මට කිව්ව හත්වෙනි බොරුව ඒකයි. 
අන්තිම කාලෙදි අම්මාට පිළිකාවක් හැදිලා රෝහල් ගත කලා. මම ඇමරිකාවේ ඉදන් ගෙදර ආවා. එතකොට අම්මා ශල්‍යකර්මයක් කරලා ඇඳට සීමා වෙලයි හිටියෙ. අම්මා සිනා සෙන්න උත්සාහ කලා. ඇයගේ ඇඟ කෝටුවක් වගේ වෙලා. ඒත් මම දුකින් කියල තේරුම් ගිහින් ඇය අමාරුවෙන් මට කිව්වෙ "මට අමාරුවක් නැහැ පුතා" කියලයි.
අම්මා මට කිව්ව අටවෙනි බොරුව ඒකයි. 
එහෙම කියලා අම්මා අවසන් හුස්ම හෙළුවා. ඔව්. මගේ අම්මා දේවදුතියක්...

ලුණු සහ කෝපි


ඔවුන් දෙදෙනා මුලින්ම හමු වුනේ මිතුරෙකුගේ සාදයකදී. 
ඇය-ඕනෑම පිරිමියෙකු ඇය දෙස වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම හැරී බලනු ඇත්තේ ඇය එතරම්ම සිත් ඇදගන්නා සුළු රූපයකින් යුත් තරුණියක් නිසාවෙනි. සාදයට පැමින සිටි කඩවසම් තරුණයන් කිහිප දෙනෙකුගේම අවධානය ඇය වෙත යොමු වූයේ නිරායාසයෙනි. 
ඔහු-සාමාන්‍ය තරුණයෙකි,කිසිවෙකුගේ අවධානය ඔහු වෙත යොමු නොවුනි,සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක තරුණයෙකු වූ ඔහු සාමාන්‍ය රූපයකින් යුත් මදක් ලජ්ජාශීලී අයෙකු විය.

සාදය අවසන් වන විට ඇය සමග මදක් හිතවත් වූ ඔහු ආචාරශීලී ලෙස සිහින් හඩින් කෝපි කෝප්පයක රස බැලීමට ඇයට ආරාධනා කලා.ඔහුගේ ආරාධනයෙන් ඇය මදක් විශ්මයට පත් වූවත් ඔහුගේ ආරාධනාවේ වූ ආචාරශීලී කම නිසා ඇය ඔහුගේ ආරාධනාව පිලි ගත්තා.

නගරයේ වූ ඉහලම පෙලේ අවන්හලකට ගිය ඔවුන් දෙදෙනා එහි අසුන් ගෙන මද වේලාවක් ගත වූවත් ඔහුගේ ලජ්ජාශීලීකම නිසා ඇය සමග වචනයක්වත් කතා කිරීමට ඔහුට හැකි වුනේ නෑ. මින් තරුණිය මදක් අපහසුතාවයට ලක් වූ අතර එම නිසා,

"කෝපි බොන්න ආරාධනා කලාට ස්තූතියි...එහෙනම් මම දැන් ගෙදර යන්නම්" පවසා අසුනින් නැගී සිටියා.

මෙවිටම අවන්හලේ වේටර්වරයෙකු ඇමතූ ඔහු 

"මගේ කෝපි එකට මිශ්‍ර කර ගන්න මට ලුණු ටිකක් ගේනවද?" යැයි කලබලයෙන් පවසා සිටියා. 

තරුණිය ඇතුලු අවන්හලේ සිටි සියලුම දෙනාගේ දෑස් පුදුමයෙන් ඔහු වෙත යොමු වුනා,ලැජ්ජාවෙන් ඔහුගේ කම්මුල් රෝස පැහැ ගත්තා. මද වෙලාවකින් වේටර්වරයෙකු ලුණු කුඩු ස්වල්පයක් රැගෙන ආ අතර ඉන් ස්වල්පයක් තම කෝපි බදුනට මිශ්‍ර කර ගත් ඔහු එය පානය කිරීමට පටන් ගත්තා. 

"ඇයි ඔයාට මේ වගේ අමුතු පුරුද්දක් තියෙන්නේ" යලි අසුන් ගත් ඇය ඔහුගෙන් ඇසුවේ කුතුහලයෙන්.

"මම කුඩා කාලයේ මම ජීවත් වුනේ මුහුද ආසන්නයේ,මම සෙල්ලම් කලේ මුහුදු වෙරළේ,මම ඒ දවස් වල මුහුදේ රසට ගොඩක් ආසා කලා,හරියටම මේ කෝපි කෝප්පය වගේ. ලුණු රස කෝපි කෝප්පයක් බොන හැම මොහොතකම මට මගේ කුඩා කාලය මතක් වෙනවා,මම ජීවත් වුන වෙරළබඩ නගරය මතක් වෙනවා,මගේ ගෙදර මතක් වෙනවා,තවම ඒ කුඩා නගරයේ ජීවත් වෙන මගේ දෙමව්පියෝ මතක් වෙනවා" 

මෙසේ කියා අවසන් වන විට ඔහුගේ දෑස් කදුලින් තෙත් වී තිබුනු අතර ඇගේ සිතේ ඔහු පිලිබදව ඇති වී තිබුනේ විශාල පැහැදීමක්,ඒ වගේම ගෞරවයක්. පිරිමියෙකුගේ හදවතේ ගැඹුරුම තැන ඇති ඔහුගේ නිවස මව්පියන් සහ ළමාකාලය පිලිබද සිතුවිලි ඔහු ඇය ඉදිරියේ නිරාවරනය කර තිබුනා.ඔහු තම පවුලට බෙහෙවින් ලැදි පවුල පිලිබදව හොදින් සොයා බලන අයෙක් බව ඇයට වැටහුනා.ඉන්පසු ඇය ඇයගේ ළමා කාලය පිලිබදව ඔහු සමග පැවසූ අතර පැය ගණනක් ගත වුනේ ඔවුන්ටත් නොදැනීමයි. එය රසවත් සාකච්ඡාවක් වූ අතරම ඔවුන් දෙදෙනා අතර වූ සම්බන්ධයට ශක්තිමත් අඩිතාලමක්ද වුනා.

ඔවුන් දිගින් දිගටම මුනගැසුනු අතර ආශ්‍රය කිරීමේදී ඇයට තේරුම් ගියේ ඔහු ඇගේ සියලුම අවශ්‍යතා සපුරාලන හොද තරුණයෙකු බවයි. තම පවුලට ලැදි ඉවසිලිමත් තරුණයෙකු වූ ඔහුට කරුනාවන්ත හදවතක් තිබූ අතර ඇය පිලිබදව ඔහු හොදින් සොයා බැලුවා. අවසානයේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් වූ අතර අනෙකුත් සියලු විචිත්‍රවත් ආදර කතා මෙන්ම ඔවුන්ගේ ආදර කතාවත් ඉතා සාර්ථකව ඉදිරියට ඇදී ගියා. 

මද කලෙකින් විවාහ වූ ඔවුන් ඉතා සාර්ථක විවාහ දිවියක් ගත කලා. ඔහු ඇයට ඉතා හොද සැමියෙකු වූ අතර ඔවුන් ගේ දරුවන්ට ඉතා හොද පියෙකු වුනා.විවේකීව සිටින විට නිතරම ඇය සිනාමුසුව ඔහු සමග පවසා සිටියේ ලුණු කෝපි කෝප්පයේ පිහිටෙන් ඇයට ඔහුව ලැබුනු බවයි. දිනපතා ඇය ඔහු වෙනුවෙන් පිලියෙල කරන කෝපි කෝප්පයට ලුණු ස්වල්පයක් දමා ඔහුට පිලිගැන්වීමටත් ඇය අමතක කලේ නෑඔහු කෝපි පානය ප්‍රිය කලේ ලුණුත් සමග බව ඇය දැන සිටියා.

දින සති මාස ගෙවී ඔවුන්ගේ විවාහ දිවියට වසර 40ක් ගෙවුනු තැන ඔහු මිය ගිය අතර මිය යාමට ප්‍රථම ඔහු විසින් ඇය වෙත ලියා තැබූ කුඩා ලිපියක් ඇයට පසුව හමු වුනා. එහි මෙසේ සදහන් වුනා

සොදුරිය,
මට සමාවෙන්න,ජීවිත කාලය පුරාම ඔයාට කිව්ව ඒ බොරුවට මට සමාව දෙන්න. 
මම ජීවිත කාලය පුරාම ඔයාට කිව්ව එකම බොරුව එය පමනයි,ඒ ලුණු කෝපි ගැන. 
මතකද අප හමු වූ මුල්ම දවසඑදා මම ගොඩක් තිගැස්සිලා සිටියේ,ඊට පෙර මම කවදාවත් ඔයා වගේ ලස්සන තරුණියක් එක්ක එකට කෝපි පානය කරලා තිබුනේ නෑ. 
එදා මට අවශ්‍ය වෙලා තිබුනේ සීනිඒත් කලබලේට මට කියවුනේ ලුණු කියලා. 
ඒ අවස්ථාවෙදි එය යලි නිවැරදි කරන්න පුලුවන් කමක් මට තිබුනේ නෑ,ඉතින් මම ඒ බොරුව දිගටම ගෙන ගියා,මම හිතුවේ නෑ ඒ බොරුව අපි දෙන්නාගේ ආදරණීය සම්බන්ධයේ ආරම්භය වෙයි කියලා. 
පහුගිය අවුරුදු හතලිහෙ කිහිප වතාවක්ම මම ලුණු කෝපි ගැන ඇත්ත කියන්න උත්සාහ කලත් මම බය වුනා,මොකද ඔයා බොරුවට පොඩ්ඩක්වත් කැමති නැති නිසා. 
තව පැය කීපයකින් මම මිය යාවි,ඒ නිසා මම ඇත්ත කියන්නම්,
මම ලුණු දාපු කෝපි වලට පොඩ්ඩක්වත් කැමති නෑලුණු කෝපි වලින් එන්නේ අමුතුම විකාර රසක්වෙලාවකට මට ඔක්කාරයට ආවා,ඒත් මම ජීවිත කාලය පුරාම ඔයා මට හදලා දුන්න ලුණු කෝපි රස වින්දා,ලුණු කෝපි බොන හැම මොහොතකම මට අපි දෙන්නා මුන ගැසුනු මුල්ම දවස මතක් වුනා.
මගේ ජීවිතයේ මම ලබපු ලොකුම සතුට ඔයාව මගේම කර ගැනීම.ඔයා තමා මගේ ජීවිතය සම්පූර්ණ කලේ.මට තව ජීවිතයක් ලැබුනොත් මට අවශ්‍ය ඒ ජීවිතයත් ඔයා එක්කම ගත කරන්න,ඒ වෙනුවෙන් ඒ ජීවිත කාලය පුරාත් ලුණු කෝපි බොන්න මම සූදානම්. 
මම ඔයාට ආදරෙයි.

ඇගේ දෙනෙතින් ගලා ආ කදුලු බිදු වලින් ලිපිය තෙත් වුනා.
එදින පටන් මිය යන තෙක්ම ඇයත් ලුණු කෝපි පානය කිරීමට පටන් ගත්තා.කවුරුන් හෝ ඇගෙන් 
"ලුණු කෝපි මොන රසද"කියා ඇසූ විට 

"ලුණු කෝපි හරිම රසයි" කීමට ඇය පුරුදු වුනා.